Please Select Your Own Language

Gunathilake Bandara Senanayake (14 July 1913 – 16 March 1985) (known as G.B Senanayake) was a prominent Sinhala writer who portrayed Sinhala middle-class life in his novels. He is credited with introducing free verse poetry to Sinhala. He became blind later in his life and still managed to write 16 books with help from his sister. The second stage of Sinhala short stories begins with G.B. Senanayake's short stories. Though mainly focused on short stories Senanayake also wrote Novels and Poetry as well. He introduced 'Nisandas' during a time when Sinhala poetry was in need of a different style. G.B. Senanayake was a writer who was very concerned about being grammatically correct in writing.

Articles

Number 1


“ මගේ ජීවිතය ඉතා සතුටුදායක එකක් නොවීය. එය දුකින් පීඩිතය. එය නැවක් බිඳී කිසිවකු මහ මුහුදට වැටී තෙරක් හමුවන තෙක් පිහිනීමක් වැන්නය. මෙකල ඈත මහ මුහුද පවා අපිරිසිදු යැයි නාවිකයෝ කියති. මා පිහිනූ මුහුද ඉතා පිරිසිදු එකක් නොවූයේ ය. මගේ ජීවිතය පිළිබඳ තොරතුරු මුළුල්ලම හෙළි කළහොත් එය මගේ අවාසියට හේතු විය හැකියි බය වෙමි. මා උසස් පාඨශාලීය හෝ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනයක් නොලද බව මා විසින් හෙළි කොට තිබේ. එය ඇතැමකු විසින් මගේ අවාසියට පෙරළා ගෙන ඇත. මා දැන් මෙය අයියාගේ දුවක ලවා කටින් කියවා ලියන්නෙ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක සිටය. මේ පෙදෙස මට ඉතා පුරුදුය. එසේ ම ඉතා අප්‍රසන්නය. මා කුසගින්නේ මේ පෙදෙසෙහි හැසිරුණු කාලය මට සිහිවේ,,.

“මගේ විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය පැවතුණේ එකලය. මගේ විශ්ව විද්‍යාලය වූයේ කොළඹ මහජන පුස්තකාලයයි. මට නවතින්නට තැනක් එකල නොතිබුණේ ය. මම එක්තරා නෑ ගෙදරක නැවතී උදේ හතට පමණ පිට වී රෑ දහයට පමණ ආපසු යමි. එය පිහිටියේ කොළඹින් පිටතය. මම මුළු දවසම ගත කළේ මගේ මේ විශ්ව විද්‍යාලයේ කියැවීම් ශාලාවෙහි ය. එහි සිටි සේවකයන්ට මා පෙනුණේ නිකම් රස්තියාදුකාර කාලකණ්ණියෙකු ලෙස යැයි මම සිතීමි. ඇතැම්හු ඒ බව මගෙන් නොසැඟවූහ. මම එසේ ඉගෙන ගෙන පත්තරවලට ලියුම් ලියන්නට වීමි. කලකට පසු මගේ ලියුම් මගේ පින්තූරත් සමඟ පළවන්නට වූයේ ය. පින්තූරය පළ වූ දිනක පුස්තකාලයේ සිටි සහකාරයෙක් හොල්මනක දෙස මෙන් මා දෙස බලා සිටියේ ය. මේ අර රස්තියාදුකාරයා ද යන සිත ඔහු තුළ වූයේ දැයි යන අනුමානය පහළ වූයේ ය. ඒ කාලයේ මා අත්දුටු වේදනාදායක සිදුවීමක් මට දැන් සිහිවේ. මම දිනක් රෑ දහයට පමණ මා සිටි ගෙදරට ගියෙමි. මම මගේ බත් පිඟාන මම නිදා ගන්නා පැඳුර එළාගෙන බිම එරමිණියා ගොතා ගෙන බත් කන්නට වූයෙමි. මගේ පිඟාන ඉදිරිපිට කුප්පි ලාම්පුවක් තිබුණේ ය. එය ඉතා දුප්පත් ගෙයකි. ඒ ගෙයි විසූ මගේ නෑ කාන්තාව “අරයා කුප්පි ලාම්පුව ඉල්ලනවා“ යි කියා ලාම්පුව ගෙන ගියා ය. වෙන කිසි එළියක් එහි නොතිබුණේ ය. මට අඳුරෙහි බත් ටික කන්නට සිදු විය. මා එසේ නින්දිත දිළිඳු තත්ත්වයක මුල සිටම ජීවත් වූවෙක් නොවීමි. ඒ නිසා මා සිත වූ ශෝකය ඉතා බලවත් වූයේ ය. මගේ ඇස්වලින් කඳුළු කඩා වැටෙන්නට විය. මෙවැනි සිදුවීම්වලින් මම අධෛර්යය නොවීමි, වූයේ පෙරටත් වඩා ධෛර්යමත් වීමයි,,.

සාහිත්‍ය සූරී ජී.බී. සේනානායකයන්(ගුණතිලක බණ්ඩා) තමන්ගේ ජීවිතාවලෝකනය කරමින් ලියූවකි.

ඔහු උපන්නේ 1913 ජූලි මාසයේ 13 දා කොළඹ මුල්ලේරියාවේ දී ය. ඔහුට සිටියේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනකු හා සහෝදරියකි. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝන් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ශිල්ප උගත්තේ ය. එහෙත් ඔහුට පාසල් යාමට හැකි වූයේ හතේ පන්තිය දක්වා පමණි. ඒ අප්‍රමාණ වූ ආර්ථික දුෂ්කරතා නිසාය.

කෙතරම් දුෂ්කරතා තිබුණ ද ඔහු කවදාවත් කියවීම අත්හළේ නැත. කියවීමේ පුරුද්ද ඔහුට හුරු කළේ ආනන්දයේ පස්වන පන්තියේ දී ඉගැන්වූ “ගුප්ත” නම් ඉන්දියානු ජාතික චිත්‍රකර්ම ගුරුතුමායි. ජී.බී.ගේ සිත බටහිර සාහිත්‍යයට යොමු කළේ ඔහුයි. අතට අසුවන ඕනෑම පොතක් හෙටට කල් නොයවා අදම කියවා හමාර කරන පුරුද්දක් ඔහු සතු විය.

කියවීමෙන් පුළුල් ජීවිත පරිඥානයක් හිමි කරගෙන සිටි ජී.බී. ලේඛන කලාවට පිවිසෙන්නේ හේමපාල මුනිදාස සූරීන්ගෙ සිංහල බෞද්ධයා පුවත්පත හරහා ය. තවත් අවස්ථාවක කොළඹ ව්‍යාපාරිකයෙකුගේ සඟරාවක් සංස්කරණය කළේ ය. අනතුරුව දිනමිණ පුවත්පත් කර්තෘ මණ්ඩලයට එක් වූයේය. එවකට දිනමිණ කර්තෘවරයා වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ය. මාර්ටින් වික්‍රමසිංහ සූරීහු ද සිය “උපන් දා සිට“ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබේ. “හොඳ කෙටි කතා ඇත්දැයි සොයනු පිණිස මම දිනමිණ ලියුම්කාරයාගේ පරණ ලිපි මිටි නිතර අවුස්සන්නට වීමි. අවුරුදු දෙක තුනකට පෙර එවන ලද විශේෂ ලිපි, කවි හා කතා ද ඒ අතර විය. මා කතුකම කරන්නට පෙර දිනමිණ කතුකම කළේ මගේ මිතුරෙකි. ඔහු විසින් පිළිකෙව් කරන ලද ලිපි ගොඩකින් කෙටි කතා කිහිපයක් තෝරා ගත්තෙමි. එකක් මුල සිට කියවා බලන්නට වටින්නක් යැයි මට හැඟිණි. එහි කුරුමිණි කකුල් වැනි ඉරි සහිත අකුරු ඇස නොපිනවයි”.

මේ කුරුමිනි කකුල් වැනි අකුරු ජී.බී. ගේ ය. ජී.බී. එකල දිනමිණටත් සිළුමිණටත් ලිපි තැපැල් කළ ද ඒවා පළ නොවී ය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ තෝරා ගැනීමත් සමඟ ඔහු ලේක් හවුසියේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් විය. වරක් ජී.බී. ලේක් හවුස් මන්දිරයෙන් පාරට බැස්සෙ වැටුප රුපියල් හැත්තෑ පහකින් වැඩි නොකළ නිසා ය. යළිත් ඔහුට ලේක් හවුස් මන්දිරයේ දොර විවර විය. ඒ රුපියල් පන්සියයක වැටුපකට හිමිකම් කියමිනි.

ජී.බී. කෙදිනකවත් ලේඛනය කුණු කොල්ලයට විකුණුවේ නැත. වරක් ඔහු මෙසේ කියා ඇත. “මැක්සිම් ගෝර්කි නැමැති සාමාන්‍ය උගත්කමක් නොලැබූ රුසියන් ලේඛකයා මෙන් මම ද අධ්‍යයන පිපාසයෙන් පෙළුණෙමි. මම කිසිවකුට උගත්කමෙන් දෙවැනි වන්නේ නැහැ යන අධිෂ්ඨානය මා තුළ විය. මේ අධිෂ්ඨානයෙන් මම දිවා රෑ පොත් කියැවීමි. පොත් කියැවීම හා ලිවීම පිළිබඳ වැඩ දවසින් දවස කල් නොදමන ලෙස මම බාල පරම්පරාවෙන් ඉල්ලා සිටිමි”.

පුවත්පත් කලාවේදියකු හැටියට ජීවිතය ආරම්භ කරන ඔහු සාහිත්‍ය ලෝකයට පිවිසෙන්නේ කෙටිකතා කරුවකු වශයෙනි. ඔහුගේ මුල්ම කෙටි කතා සංග්‍රහය “දුප්පතුන් නැති ලෝකය“ යි. 1946 පළ කළ “පළි ගැනීම“ නම් කෙටිකතා සංග්‍රහය විවාදයට තුඩු දුන් එකකි. ඒ එහි නව ආරක ආකෘතියකින් යුත් පද්‍යාවලී 8ක් ගැබ් වී තිබීමයි.

“මේ පොතේ පද්‍යාවලීන්ගේ විලාසයෙන් එන නිබන්ධ මා සලකන්නේ ගද්‍යයට ද පද්‍යයට ද අතර වන නිබන්ධන විශේෂයක් වශයෙනි. ඒවා කියැවිය යුත්තේ ගද්‍ය කියවන ලෙසය. එහෙත් කියැවීමේ දී ශබ්ද සංඝට්ටනාවෙහි මාධූර්යය කෙරෙහි සැලකිල්ල ගද්‍යය කියැවීමෙහි දී ඒ අරබයා දක්වන සැලකිල්ලට වැඩි විය යුතුය”.

මේ ලාංකේය නිසඳැස් කවියේ ආරම්භයයි. ජී.බී. මේවා හැඳින්වූයේ නිදහස් පද්‍ය හැටියටයි. ආචාර්ය සිරි ගුනසිංහයන් ඒවා නිසඳැස් හැටියට නම් කළේ ය.

විසිවැනි සියවසේ ලංකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම කෙටිකතාකරුවා ජී.බී. සේනානායකයන් ය. ඔහු මෙලෙස කෙටිකතාකරුවකු වූයේ බටහිර සාහිත්‍ය ආභාසයට ද දේශීය පැරණි සාහිත්‍ය ආභාසය ද ලැබ සාමාන්‍ය ජන ජීවිතය විනිවිද දුටු නිසා ය. වරක් “විනිවිඳිමි අඳුර” ග්‍රන්ථයේ මෙසේ ලියා ඇත.

“මගේ බාල කල බුද්ධි පරිසරය ගැන මදක් කිව්වොත් සුදුසු යැයි සිතමි. මගේ තාත්තා කුඩා කල මහණව සිට සිවුරු හැර විවාහ වූවෙකි. ඔහු පාලි සංස්කෘත දන්නේ ය. ගෙදර කතා බහ කරන කල ද ශ්ලෝක හා ගාථා ද වෙනත් පාලි හා සංස්කෘත පාඨයන් ද කියයි. මේවායේ අර්ථය ද කියන්නේ ය. මෙයින් මගේ සිත මේ භාෂා කෙරෙහි ඇදී ගියේ ය”.

“.... අපේ පැරණි පොත් අතුරින් මාර්ටින් වික්‍රමසිංහ කෙරෙහි බොහෝ සෙයින් ම බලපෑවේ සද්ධර්මරත්නාවලියෙහි භාෂාව යැයි සිතමි. මා කෙරේ ද ප්‍රධාන වශයෙන් බලපෑවේ එයයි”.

“.... නොයෙක් නෑයන් මගේ චරිතය කෙරෙහි බලපෑ සැටි යට කීවෙමි. පොතක එන චරිතයක් මා කෙරෙහි බලපෑවේ යැයි සිතමි. ඒ චරිතය නම් ඩයොජිනීස් නැමැති ග්‍රීක දාර්ශනිකයාගේ චරිතයයි”.

ජී.බී. ටිකෙන් ටික අන්ධභාවයට පත් විය. ඔහුගේ “බැඳුම“ නම් කෘතිය ලියා අවසන් වන විට පෙනීම බෙහෙවින් ම අතුරුදහන් විය. අන්ධභාවයට පත්වන විට ඔහු ලියා තිබුණේ නවකතා නවයකි. අන්ධභාවයට පත් වූ පසු ඔහු තවත් නවකතා දහයක් ලීවේ ය. එකල ඔහුට සහය වූයේ අයියාගේ බිරිඳත් දරුවනුත් ය. න, ණ, ල, ළ නිවැරදිව තෝරා දෙමින් වියරණ පිළිබඳ සැලකිලිමත් වෙමින් එකල ද ඔහු නිර්මාණකරණයේ යෙදුණි.

ඔහුගේ නිර්මාණ අතර මේධා, චාරුමුඛ, වරදත්ත, අවරගිර, රළ බිඳුම, කැකෑරිල්ල, මලපුඩුව, ජල ගැල්ම, බැඳුම, රුව, උරගල, එකට එක, මදුපාණි වැනි නවකතාත් දුප්පතුන් නැති ලෝකය, පළිගැනීම, ඈත බැලුම, ගමන, නැටුම, මිතුරිය වැනි කෙටි කතාත් සාහිත්‍ය දර්ශන සිතුවිලි, මම එදා සහ අද වැනි චරිතාපදානත්, රුබයියාට්, විඳිමි, දැල් කවුළුව, සෙවණැලි වැනි පද්‍යයත් මල්කුමාරී, හාල් මැස්සා, රත් හඳුන්, රූපය, හීනය, අඹ කතාව, මහ ලෝභයා වැනි සුරංගනා කතාත් නව කතා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය, සාහිත්‍ය සේසත්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව ආදී ශාස්ත්‍රීය කෘතීන් ද වේ.

ජී.බී. සේනානායකයන් උස මහත දේහධාරියෙකු නොවීය. ඔහු ම කියනා හැටියට අඟුටුමිටි ශරීරයක් ඇත්තෙකි. ඒත් ඍජු ප්‍රතිපත්ති ඇති අයෙකි.

ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ඔහුට සාහිත්‍ය සූරී ආචාර්ය උපාධිය පිරිනැමීය. එය ලැබූ දින නිවසට පැමිණ මෙවැනි දැඩි ගුණ ඇති මා ලොවට පහළ කළ මාගේ ආදරවන්ත දෙමාපියන් නිවන් දකිත්වා‘ යි පැතූ බැව් “විනිවිඳිමි අඳුර“ කෘතියේ සඳහන් ය. හුදකලාව ප්‍රිය කළ හේ ජීවිතයේ සැදෑ සමය ගෙවූයේ වැඩිමහල් සොහොයුරාගේ නිවසේ ය.

1985 මාර්තු 16 දා ඔහු ජීවිත ගමනෙන් සමුගත්තේ ය. ඊට පෙර දා රාත්‍රියේත් “රාජාලියා“ නම් නිදහස් පද්‍ය රචනා කර තිබුණි. සාහිත්‍ය ඔහුගේ ජීවිතය වූ බැව් කියන්නට තවත් නම් අටුවා ටීකා කුමට ද?

තොරතුරු - නදීෂානි මාතරආරච්චි, බප/කළු/ කරඳගොඩ ප්‍රා.වි., බේරුවල